ලෝකෙන් උතුම් රට ලංකාවයි .. සිරි ලංකාවයි
Posted by sadeepa palliyaguru on November 7, 2009
සිකුරාදාවක් … වැහි දිනක්…
120 බස් නැවතුමක් … පාමංකඩ
සුපුරුදු ලෙස බිරිඳ සමග බස් නැවතුමට උදෑසනම ගියේ රතු ඉරට පෙර වැඩට යාමටයි.
තුන් රෝද රියක් නවතී ..යුවලක් ඉන් බසී …
මහලු යුවලක් …
සැමියා දෑස් අඳ අයෙකි… සුදු ජාතික ඇඳුමකින් සැරසී සිටී…
සුදු සැරයටියක් ඔහුගේ අබල අතේ ….
මහලු බිරිය ඔහු වත්තම් කරගෙන බස් නැවතුමට ආවාය..
ඔහු වෙව්ලයි …. සීතලින්ද ? අසනීපද ?
බස් රියක් පැමිණෙයි..
බිරිඳ අඳ සැමියා වාරු කරගෙන බසයට නැගීමට තැත් දරයි..
කොන්දොස්තර කොලුවා හඩ දෙයි…
අම්මේ ඔයගොල්ලන්ට නම් මේකේ යන්න බැහැ … ! ෆුඩ්බෝඩ් තමයි යන්න වෙන්නේ
බසයේ ඇති තරම් ඉඩ ඇත …
කොන්දොස්තර කොලුවා ගේ දෑස් රුපියල් සත වලින් වැසී ඇත..
යුවල නැවතත් බස් නැවතුමට …. වැස්ස මහ හඩින් වහියි…
බසය සුපුරුදු ලෙස වේගයෙන් ගමන අරබයි.
මට ගී පදයක් සිහිවෙයි … “ලෝකෙන් උතුම් රට ලංකාවයි .. සිරි ලංකාවයි”
තවත් සුදු සැරයටි දිනයක් පසුගිය ඔක්තෝබර් 15 දින සැමරිණි.
